මේ ලෝකය තුළ සියයට සියයක් හොඳ කෙනෙකු සිටින්නේ යයි මට නොසිතේ.මගේ අදහස අනුවනම් කෙනෙකු සියයට සියයක් හොඳ කෙනෙකු වන්නේ බුදු,පසේබුදු,මහරහත් යන තුන්තරා බෝධියන්ගෙන් එක් බෝධියකින් නිවන් අවබෝධ කරගත් විට පමණි.මන්ද උන්වහන්සේලාගේ සිත් තුළ කිසිම අයුරකින් ලෝභ දෝස මෝහ ආදීන් මුල් කොටගත් අකුසල සිතුවිලි ඇති නොවේ.එනම් ඊර්ෂ්‍යාව,වෛරය,ක්‍රෝධය ආදී සාමාන්‍ය මිනිසාගේ සිතට නිතර පැමිණෙන සිතුවිලි උන්වහන්සේලාගේ සිත් තුළ ඇති නොවේ.එහෙයින් උන්වහන්සේලා සියයට සියයක් හොඳ අය යැයි මම සිතමි.
දැන් ඔබ අවංකවම ඔබ ගැන හිතන්න.ඔබ හොඳ කෙනෙක් ද? නැත්නම් ඔබ නරක කෙනෙක්ද?ඔබගේ පිළිතුර බොහෝ විට ඔබ හොඳ කෙනෙකු යන්න විය හැක.මන්ද එසේ නොවේ නම් ඔබ මෙම ලිපිය මෙතරම් දුර නොකියවන්නට පුළුවන.සැබැවින්ම ඔබ හොඳ මනුෂ්‍යයෙකි.එහෙත් සියයට සියයක් නොවේ.ඔබගේ සිත තුළ තමා හොඳ කෙනෙකැයි ඇති කරගෙන ඇති සිතුවිල්ල නිසා ඔබගේ සිතට එන නරක අදහස් ඔබ ඉතාමත් ආයාසයෙන් හෝ ඉවත දමනු ඇත.සැබවින්ම හොඳ මිනිසෙකු ලෙස
අපට පෙනෙන සෑම කෙනෙකුම එසේ පෙනෙනනේ ඔවුන් තුළ වූ නරක ගතිගුණ පිටතට නොපෙන්වා ඉතා ආයාසයෙන් හෝ ඇතුලේම තබා ගන්නා නිසාය.
සියළු ආලෝකයන් උරාගන්නා දේ කළු පැහැයෙන් දිස් වේ.යමක් වර්ණයකින් දිස් වන්නේ එම වර්ණය පිටතට පරාවර්තනය කර අනෙක් වර්ණයන් උරාගන්නා නිසාය.එලෙසම යමෙක් තමාගේ නරක ගති ඇතුළට උරාගෙන හොඳ ගති ලොවට විහිදුවන විට ඔහු හොඳ කෙනෙකු ලෙස පෙනෙන අතර යමෙකු නරක කෙනෙකු ලෙස පෙනෙන්නේ ඔහුගේ හොඳ ගතිගුණ පිටතට නොපෙන්වන නිසාය.ලෝකයේ සිටින ඕනෑම පුද්ගලයෙකුගේ සිත තුළ හොඳ සිතුවිලි හා නරක සිතුවිලි යන දෙකම ඇතිවේ.එම එක් එක් පුද්ගලයා තමා කෙරෙහි පනවාගෙන ඇති නීතිරීති හා තමා පිළිබඳව ඇති ස්වයං තක්සේරුව අනුව හොඳ මිනිසෙකු හෝ නරක මිනිසෙකු ලෙස සමාජයට දිස්වේ.
හිතන්න,ඔබගේ අසල්වැසියෙකු අළුත් වාහනයක් ගත් විට ඔබට ඉරිසියාවක් ඇතිවේ.(එසේ නොවේ නම් ඔබ මාර්ගඵල ලාභියෙක්,නිවනට ලංවූ කෙනෙක් විය යුතුය)එවිට ඔබ ඔබගේ ජීවිතය හොඳ කෙනෙකු ලෙස හසුරවන්නේ නම් එම ඊර්ෂ්‍යාව ඇති වූ වහාම සිතුවිලි ක්‍රියාත්මක කර එම ඊර්ෂ්‍යාව සිතෙන් දැඩි ආයාසයෙන් හෝ ඉවත් කර වාහනය ගත් අසල්වැසියා පිලිබඳ සතුටු සිතක් අවංකවම සිත තුළ ඇති කර ගැනීමට උත්සාහ දරයි.එම පුද්ගලයාගේ මතු දියුණුව පැතීමට අවංකවම උත්සාහ දරයි.ඔවුන්ගෙන් ආදර්ශ රැගෙන ස්වෝත්සාහයෙන් තමාද දියුණු වීමට උත්සාහ දරයි.
එහෙත් ඔබ නරක කෙනෙකු ලෙස ජීවත් වේ නම් ඔබට ඊරිසියාව ඇති වූ මොහොතේ ඔබ එය වලකාගැනීමට කිසිඳු ආයාසයක් නොදරයි.ඒ වෙනුවට ඔබ හොරෙන්ම ගොස් අසල්වැසියාගේ වාහනයේ රෝද හතරේම හුලං අරිනු ඇත.එයද මදි වී අමතර රෝදයේද හුලං අරිනු ඇත.එවිට ඔබ නරක මිනිසකු බවට පත්වේ.
මෙය බොලඳ උදාහරණයක් ලෙස පෙනුනනද ලඟ සිටින කෙනා කෙනිත්තීමේ සිට භයානක මිනී මැරුම දක්වා වන සෑම අපරාදයකටම හේතුව එම අපරාද කරුගේ සිතුවිලි වල මනා පාලනයක් නොමැති වීමය.එහෙයින් ඔබත් අද සිටම ඔබගේ සිතුවිලි පාලනය කිරීමට පුරුදු වන්න.ඔබගේ සිරුර තුළ සිටින හොඳ මිනිසා ආදරයෙන් රැකබලාගන්න.සිතට ඇතුළු වන නරක සිතුවිලි ඉවත් කරගැනීමට උත්සාහ කරන්න.
ඔබට සම්මා සම්බුදු සරණයි !!!
Sunday, February 21, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment