Sunday, February 21, 2010

ඔබ හොඳ කෙනෙක් ද? නරක කෙනෙක්ද?

මේ ලෝකය තුළ සියයට සියයක් හොඳ කෙනෙකු සිටින්නේ යයි මට නොසිතේ.මගේ අදහස අනුවනම් කෙනෙකු සියයට සියයක් හොඳ කෙනෙකු වන්නේ බුදු,පසේබුදු,මහරහත් යන තුන්තරා බෝධියන්ගෙන් එක් බෝධියකින් නිවන් අවබෝධ කරගත් විට පමණි.මන්ද උන්වහන්සේලාගේ සිත් තුළ කිසිම අයුරකින් ලෝභ දෝස මෝහ ආදීන් මුල් කොටගත් අකුසල සිතුවිලි ඇති නොවේ.එනම් ඊර්ෂ්‍යාව,වෛරය,ක්‍රෝධය ආදී සාමාන්‍ය මිනිසාගේ සිතට නිතර පැමිණෙන සිතුවිලි උන්වහන්සේලාගේ සිත් තුළ ඇති නොවේ.එහෙයින් උන්වහන්සේලා සියයට සියයක් හොඳ අය යැයි මම සිතමි.

දැන් ඔබ අවංකවම ඔබ ගැන හිතන්න.ඔබ හොඳ කෙනෙක් ද? නැත්නම් ඔබ නරක කෙනෙක්ද?ඔබගේ පිළිතුර බොහෝ විට ඔබ හොඳ කෙනෙකු යන්න විය හැක.මන්ද එසේ නොවේ නම් ඔබ මෙම ලිපිය මෙතරම් දුර නොකියවන්නට පුළුවන.සැබැවින්ම ඔබ හොඳ මනුෂ්‍යයෙකි.එහෙත් සියයට සියයක් නොවේ.ඔබගේ සිත තුළ තමා හොඳ කෙනෙකැයි ඇති කරගෙන ඇති සිතුවිල්ල නිසා ඔබගේ සිතට එන නරක අදහස් ඔබ ඉතාමත් ආයාසයෙන් හෝ ඉවත දමනු ඇත.සැබවින්ම හොඳ මිනිසෙකු ලෙස
අපට පෙනෙන සෑම කෙනෙකුම එසේ පෙනෙනනේ ඔවුන් තුළ වූ නරක ගතිගුණ පිටතට නොපෙන්වා ඉතා ආයාසයෙන් හෝ ඇතුලේම තබා ගන්නා නිසාය.

සියළු ආලෝකයන් උරාගන්නා දේ කළු පැහැයෙන් දිස් වේ.යමක් වර්ණයකින් දිස් වන්නේ එම වර්ණය පිටතට පරාවර්තනය කර අනෙක් වර්ණයන් උරාගන්නා නිසාය.එලෙසම යමෙක් තමාගේ නරක ගති ඇතුළට උරාගෙන හොඳ ගති ලොවට විහිදුවන විට ඔහු හොඳ කෙනෙකු ලෙස පෙනෙන අතර යමෙකු නරක කෙනෙකු ලෙස පෙනෙන්නේ ඔහුගේ හොඳ ගතිගුණ පිටතට නොපෙන්වන නිසාය.ලෝකයේ සිටින ඕනෑම පුද්ගලයෙකුගේ සිත තුළ හොඳ සිතුවිලි හා නරක සිතුවිලි යන දෙකම ඇතිවේ.එම එක් එක් පුද්ගලයා තමා කෙරෙහි පනවාගෙන ඇති නීතිරීති හා තමා පිළිබඳව ඇති ස්වයං තක්සේරුව අනුව හොඳ මිනිසෙකු හෝ නරක මිනිසෙකු ලෙස සමාජයට දිස්වේ.

හිතන්න,ඔබගේ අසල්වැසියෙකු අළුත් වාහනයක් ගත් විට ඔබට ඉරිසියාවක් ඇතිවේ.(එසේ නොවේ නම් ඔබ මාර්ගඵල ලාභියෙක්,නිවනට ලංවූ කෙනෙක් විය යුතුය)එවිට ඔබ ඔබගේ ජීවිතය හොඳ කෙනෙකු ලෙස හසුරවන්නේ නම් එම ඊර්ෂ්‍යාව ඇති වූ වහාම සිතුවිලි ක්‍රියාත්මක කර එම ඊර්ෂ්‍යාව සිතෙන් දැඩි ආයාසයෙන් හෝ ඉවත් කර වාහනය ගත් අසල්වැසියා පිලිබඳ සතුටු සිතක් අවංකවම සිත තුළ ඇති කර ගැනීමට උත්සාහ දරයි.එම පුද්ගලයාගේ මතු දියුණුව පැතීමට අවංකවම උත්සාහ දරයි.ඔවුන්ගෙන් ආදර්ශ රැගෙන ස්වෝත්සාහයෙන් තමාද දියුණු වීමට උත්සාහ දරයි.

එහෙත් ඔබ නරක කෙනෙකු ලෙස ජීවත් වේ නම් ඔබට ඊරිසියාව ඇති වූ මොහොතේ ඔබ එය වලකාගැනීමට කිසිඳු ආයාසයක් ‍නොදරයි.ඒ වෙනුවට ඔබ හොරෙන්ම ගොස් අසල්වැසියාගේ වාහනයේ රෝද හතරේම හුලං අරිනු ඇත.එයද මදි වී අමතර රෝදයේද හුලං අරිනු ඇත.එවිට ඔබ නරක මිනිසකු බවට පත්වේ.

මෙය බොලඳ උදාහරණයක් ලෙස පෙනුනනද ලඟ සිටින කෙනා කෙනිත්තීමේ සිට භයානක මිනී මැරුම දක්වා වන සෑම අපරාදයකටම හේතුව එම අපරාද කරුගේ සිතුවිලි වල මනා පාලනයක් නොමැති වීමය.එහෙයින් ඔබත් අද සිටම ඔබගේ සිතුවිලි පාලනය කිරීමට පුරුදු වන්න.ඔබගේ සිරුර තුළ සිටින හොඳ මිනිසා ආදරයෙන් රැකබලාගන්න.සිතට ඇතුළු වන නරක සිතුවිලි ඉවත් කරගැනීමට උත්සාහ කරන්න.

ඔබට සම්මා සම්බුදු සරණයි !!!

Friday, February 12, 2010

සදාචාරවත් සමාජයක් උදෙසා බුදු වදනින් බිඳක්

"ධම්ම කාමෝ භවං හෝතී-ධම්ම දෙස්සී පරාභවෝ"යන පරාභව සූත්රයේ සඳහන් ගාථා පාඨයට අනුව ධර්මය කැමති තැනැත්තා දියුණු වන බවත් ධර්මයට අකමැති තැනැත්තා පිරිහෙන බවත් එම සූත්රය ආරම්භයේදීම බුදුරදුන් විසින් දේශනා කොට ඇත.දියුණුවට කැමති පුද්ගලයා ධර්මයට අනුකූලවම සිය චර්යා පද්ධතිය සකස් කරගත යුතු බව කිඹුල්වත් පුරදී සුදෝවුන් රජු අරබයා දේශනා කරන ලද "ධම්ම චරෙ සුචරිතං-නතං දුච්චරිතං චරේ"යන ධම්මපද ගාථාවද උදාහරණ කොට පෙන්වා දිය හැක.

ලෝක සත්වයා වෙත පතුරුවාලූ අපමණ කරුණා මෙත් සිත පෙරදැරිව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්රී සද්ධර්මය ඇත්තෙන්ම සාරධර්ම භාණ්ඩාගාරයකැයි හැඟේ.බෞද්ධයාගේ පරම නිෂ්ටාව වන නිර්වාණය පසක් කරගන්නා තුරු ගමන් කළයුතු මග වැටී ඇත්තේ සාරධර්ම සමුදායක් තුළිනි.විනය ආරක්ෂා වී පවතින තාක් කල් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වන බව "විනයෝ නාම සාසනස්ස ආයු" යන පාඨය තුළින් පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසේම සංවරය සදාචාරය ඇති කිරීමට දැඩිසේ උනන්දු වූ සේක.

දියුණුවට කැමැතිවන කිසිම පුද්ගලයෙකු නුවණැත්තන්ගේ නිග්රහයට ලක්වන කුඩාම වැරැද්දක්වත් නොකළයුතු යැයි දේශනා කල බව"නච බුද්දං සමාචරේ කිඤ්චියේන විඤ්ඤූ පරේ උපවදෙය්යුං"යන කරණීය මෙත්ත සූත්රයේ එන පාඨයෙන් කියවේ.ගිහියන් විසින් දිනපතාම ආරක්ෂා කරගතයුතු නිත්ය ශීලය ලෙස පංචශීල ප්රතිපත්තිය හඳුන්වා දී ඇත්තේ පුද්ගලයාගේ කාය වාග් සංවරය සමස්ථ සමාජයේම යහ පැවැත්මට අත්වැලක් වන හෙයිනි.
ශීලයෙහි මනා ලෙස පිහිටා ගුණ නුවණ වඩන්නේ නම් එදිනෙදා ජීවිතයේ මතුවන ගැටළු විසඳා ගැනීමට පහසු වන බව"සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ-චිත්තං පඤ්ඤංච භාවයං"යන බුදු වදනින් පෙනේ.

නිවන් මගෙහි ආරම්භක පියවර ලෙස බුදු දහමේ පෙන්වා දී ඇත්තේ ශීලයයි.පංච ශීලය,අෂ්ටාංග ශීලය,ආජීව අෂ්ටමක ශීලය ගිහියන් සඳහාද සාමනේර දස ශීලය,ප්රාතිමෝක්ෂ සංවර ශීලය පැවිදි පක්ෂය සඳහාද විනය පිඨකයේ දේශනා කොට ඇත.
කුමන ශීලයකින් වුවද ශික්ෂණයක් ලැබීම තුළින් සිදු වන්නේ හොඳ සිරිත් විරිත් ආචාරධර්ම සුරකින සදාචාර සම්පන්න පිරිසක් බිහි වීමය.පුද්ගලයා තුළ පවතින ලෝභ දෝස මෝහ ප්රධන කොට ඇති කෙලෙස් මැඩපවත්වාගනිමින් සිතේ සංවරය ඇතිකරගත හැක්කේ කාය වාග් සංවරය ඇති කරගතහොත් පමණි.බුදුරදුන් සිත දමනය කිරීමට පළමුව පුද්ගලයා සදාචාරවත් විය යුතු බව පෙන්වා දී ඇත්තේ එහෙයිනි.

බුදු දහමේ ඉගැන්වෙන ශීලයට අයත් වන්නේ වැරදි වලින් වෙන් වීම හෙවත් විරමණය පමණක්ම නොවේ.වත්පිළිවෙත් කිරීමද හැමටම දයාව අනුකම්පාව දැක්වීමද අයත් වන්නේ ශීලයටමය.නිවැරදි දේ කිරීම හෙවත් සමාදානය අත්යවශ්යම අංගයක් වේ.දස අකුසලින් වැලකිය යුතු වන අතර දස කුසල් වල,දස පුන්යක්රියා වල නිරත විය යුතුය.ශීලය සම්පූර්ණ වන්නේ විරමණය හා සමාදානය දෙකොටසෙහිම යෙදෙන විටය.

ශීලයෙන් සංවර වීම අප පවින් වැලකීමෙන් පමණක් සම්පූර්ණ නොවේ.ත්රිකෝටික පාරිශුද්ධියෙන් යුක්තව අප ශික්ෂා පද රැකිය යුතුය.උදාහරණයක් ලෙස ප්රාණ ඝාතයෙන් වැලකීමේ සික්ෂාපදය සම්පූර්ණ වීමට සතෙකු මැරීම,මැරවීම හා මැරීමට අනුබල දීම යන අවස්ථා තුනෙන්ම අප වැළකී සිටිය යුතුය.ඉතිරි ශික්ෂා පද කෙරෙහිද අනුගමනය කල යුතු පිළිවෙත මෙසේමය.මේ අයුරින් බලන විට පංච ශීලය රකින තැනැත්තා ඉතාම සදාචාර සම්පන්න කෙනෙකු වන්නේය.ඔහු අතින් හොඳ දේ කිරීමත් හොඳදේ කරවීමත් හොඳදේට අනුබල දීමත් සිදුවන නිසා සදාචාරවත් සමාජයකට පසුබිම එතුළින්ම සැකසේ.

ලෝක පාලන ධර්ම ලෙසින් බුදු දහමේ හඳුන්වන හිරි ඔතප්ප යන චෛතසිකයෝ මිනිස් සිත දුසිරිතෙන් මුදවා සුරිතයෙහිම යොදවති.පව් කිරීමට ඇති ලැජ්ජාව සහ බිය මිනිසා තුළ නිරතුරුවම රඳවාගැන්මට සමත් වන පරිදි අධිපති ධර්ම තුනක්ද බුදුරදුන් දේශනා කොට ඇත.අත්තාධිපති,ලෝකාධිපති සහ ධම්මාධිපති යනුවෙන් එම ධර්ම හඳුන්වනු ලැබේ.තමා උසස්කොට සිතමින් පව් කිරීම තමාගේ ගෞරවයට කැළලක් යයි සිතා පව් නොකිරීම අත්තාධිපති ශීලය වේ.අකුසල් කිරීමෙන් ලෝකයාගේ අපවාදයට බඳුන්වේ යයි ඇති වන බිය නිසා පව් නොකිරීම ලෝකාධිපති ශීලයයි.තමන් කරන කියන දේ පිළිබඳව ධර්මානුකූලව සිතා කර්ම විපාක ගැන සලකා අකුසලින් බැහැර වීම ධර්මාධිපති ශීලයයි.මේ අයුරින් බලන විට ලෝක පාලන ධර්මයන් හා අධිපති ධර්මයන් මගින් සදාචාරවත් ජීවිත ගත කිරීමට පුද්ගලයන් පොළඹවයි.

ව්යග්ගපජ්ජ,වසල,පරාභව,සිඟාලෝවාද ආදී සූත්ර ගණනාවකම බුදුරජාණන් වහන්සේ දුසිරිතෙන් මිදී සුචරිතයේ යෙදීම සඳහා දුන් අවවාද දෙසූ දහම් කරුණු දැකගත හැකි වේ.සුරා පානය,නොකල්හී වීදි සංචාරය,සූදු කෙළිය,පවිටු මිතුරු ඇසුර ආදී සදාචාරවත් ජීවිතයකට බාධාකාරී වන කරුණු බොහොමයක් අත්හළ යුතු බව ව්යග්ගපජ්ජ සූත්රයෙන් පෙන්වා දී ඇත.ගිහි විනය වශයෙන් සැලකෙන සිඟාලෝවාද සූත්රයේදී සමාජයේ ඒ ඒ කොටස් වලින් තමාටත් තමාගෙන් ඒ ඒ කොටස් වලටත් ඉටු කළයුතු යුතුකම් පෙන්වා දී ඇත්තේ යුතුකම් ඉටු කිරීම තුළින් ආරවුල් ගැටුම් වලින් තොර වූ සදාචාරාත්මක පිරිසක් බිහි වනු දැකීමේ බලාපොරොත්තුවෙනි.

"සබ්බේ තසන්ති දණ්ඩස්ස-සබ්බේ භායන්ති මච්චුනෝ-අත්තානං උපමංකත්වා-නහනෙය්ය නඝාතයේ"යන ධම්මපද ගාථාවෙන් කියවෙන පරිදි කිසිවෙකුට හෝ හින්සා පීඩා කිරීමෙහි සිතක් පහළ වූ සැනින් තමාව උපමාවට ගත යුතු බව පෙන්වා දෙයි.සියළුම සත්වයෝ දඬුවමට මරණයට බිය වන බව සිහියට නගාගෙන අනුන් නොමැරිය යුතුය,නොමැරවිය යුතුය යන්න එම ගාථාවේ සරල අදහසය.තමාට සිදු වනවාට අකමැති කිසිවක් අනුන්ට සිදු නොකරන ලෙසට අවවාද දෙමින් බුදු දහමේ උගන්වන මේ අත්තූපනායක ධර්ම පරියාය සදාචාරවත් සමාජයක් කරා යන ගමනේ දී බෙහෙවින්ම ඵලදායක වනවා නොඅනුමානය.

තෙරුවන් සරණයි !!!